මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව
මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව අද (ඔක්තෝම්බර් 07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මා වෙත භාර දුන්නේය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත් කෙරිණි.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලූෂා බාලසූරිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මධුෂානි වර්ණසූරිය යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.
“මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කොට එය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ” යනුවෙන් සඳහන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මම ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කළෙමි. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කළ බව කමිටු සමාජිකයෝ පැවසූහ.
මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි මම මෙහි දී විශ්වාසය පළ කළෙමි. වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි. මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව මගේ විශ්වාසය බවත් ඒවා පිළිබඳව සොයා බලා බැලීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිලධාරීන් දැනුම් දුන්නෙමි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලු ම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි ද මම මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි. ඒ සඳහා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන ලෙස ද දැනුම් දුන්නෙමි.
එක ම ප්‍රදේශයේ දී පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදුවීමෙන් දේශීය සංචාරකයන් ද විවිධ අපහසුතාවලට ලක්වන බව පෙන්වා දුන් මම, යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලකට හඳුන්වා දෙන ලෙස ද උපදෙස් දුනිමි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍ය මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.