කිරි මඩුව ශාන්තිකර්මය
per person
සබරගමු ප්‍රදේශයෙහි පවත්නා ශාන්තිකර්ම අතර සත්ත්ව වර්ගයා වෙනුවෙන් පවත්වනු ලබන එකම ශාන්තිකර්මය කිරිමඩුවයි. විශේෂයෙන් හරක් පට්ටිවල ඇති වන්නා වූ රෝග පීඩාදියෙන් මුදවා ගව සම්පත ආරක්ෂා කර ගැනීම උදෙසා කිරිමඩු ශාන්තිකර්මය පැවැත්වීම සාමාන්‍ය සිරිතයි. මංගර දෙවියන්ට කරන පුද පූජාවලින් අපේක්ෂා කරන්නේ විශේෂයෙන් ගව මහීෂා දී සම්පත් හා එම සතුන්ගේ ආරක්ෂාවත් පොදුවේ සශ්‍රීකත්වයත් යි.
ගවයා යනු ශ්‍රී ලාංකික කෘෂි ජීවිතයෙහි නැතිවම බැරි වූ සත්ත්වයෙකි. තාක්ෂණීක ලෝකයේ දියුණුවක් ඇතිවන්නට පෙර කෘෂි ජීවිතයට සම්බන්ධ බොහෝමයක් අවශ්‍යතා පූර්ණය කර ගැනීමට ගවයාගෙන් ලැබුණේ නොමද සහයකි. විශේෂයෙන්ම වී ගොවිතැනට අවශ්‍ය වූ සහයෝගයට අමතරව ජනතාව පෝෂණය කිරීමේ දී කිරි ලබා දීමත් ශාඛ පෝෂණය උදෙසා ගොම පොහොර ලබා දීමත් ප්‍රවාහන කටයුතු ඇතුලු බර රැසක් ඉසිලීමේ කර්ත්‍යවයක් ගවයාගෙන් හා කිරි එළදෙනගෙන් ඉටුවුණි. ගොම සමඟ මැටි කලවම්කර ගෙමිදුලෙහි ආලේප කිරීමෙන් අපේක්ෂා කරන ලද්දේ පවිත්‍රත්ත්වයයි.
මනුෂ්‍ය ජීවිතයෙහි අවශ්‍යවන්නා වූ අවශ්‍යතා රැසක් සම්පූර්ණ කරදීමේ යෙදෙන්නා වූ ගවයා දේවත්ත්වයට පත් කිරීමට පවා හින්දු සමාජය කටයුතු කර ඇත්තේ එකී සත්ත්වයා කෙරෙහි දක්වන්නා වූ අනූපමේය උපහාරය හේතුවෙනි. භාරතීය ශ්‍රේෂ්ඨ මහා කාව්‍යයක් වන මහා භාරතයේ ඇතුලත් ක්‍රිෂ්ණ දෙවිඳු යනු ස්වභාවික උප්පත්තියක් ලබා ගෝකුල ගමෙහි ගොපලු සමාජයක හැදුණු වැඩුණු දරුවෙකි. ගවයන්ට විශේෂ ආදරයක් ඇල්මක් දක්වන ලද ක්‍රිෂ්ණ ගවයන්ගේ ආරක්ෂාවත් සුභසිද්ධියත් තකා හැමවිටම කටයුතු කළේය. ගවයා පූජනීයත්වයට පත්කළ යුතු බැව් ක්‍රිෂ්ණ විසින් ප්‍රකාශ කරන ලද්දේ මනුෂ්‍යයා පෝෂණය කිරීමේ මහඟු කාර්යයට උපහාර වශයෙනි.
භාරතයේ පැවති එකී පුද පූජාවලට අනුකූලව නොවුවත් ගවයාගෙන් හා කිරි එළදෙනගෙන් සිංහල ජනතාවට සිඳුවන්නා වූ අනූපමේය මෙහෙය අපමණය. ඒ හේතුකොට ගෙන ගවයා සුරක්ෂිත කිරීමේ කාර්යයෙහි සිංහලයා ද නියුතු වී ඇති බැව් කිරි මඩුව ශාන්තිකර්මයෙන් ගම්‍යමාන වේ. ගවයාට වැදුම් පිදුම් කිරීම කෙසේ වෙතත් උපහාර දැක්වීම පරම පිවිතුරු චේතනාව කොටගත් සිංහල බෞද්ධයා තුළ පැවති කෘතගුණශීලිත්වය ඉන් මනාව පැහැදිලි වේ.
ගව සම්පත ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් පවත්වන්නා වූ කිරිමඩු යාගයෙහි පුද ලබන ප්‍රධාන දෙවියා වූ මංගර වන ජීවිතයට හුරු වූ වන සතුන් සමඟ කෙළි දෙලෙන් ගත කරන ලද වන සතුන්ට විශේෂ ඇල්මක් දක්වන ලද තැනැත්තෙකි. බදමනට විශේෂ දස්කම් දැක් වූ මංගර, කදිරාගොඩ ප්‍රදේශයෙහි ගවයන් විනාශ කරන ලද්දා වූ මීමා බැඳීමේ කාර්යයට හවුල් වී මීමාගෙන් මරණයට පත් වූ බවත් කතාවෙන් හෙළි කෙරේ.
ගවයන් ආරක්ෂා කිරීමේ අපේක්ෂාව මංගර විසින් ඉටුකරතැයි විශ්වාස කරන ලද ගැමියන් මංගර හමුවේ පුද සත්කාර පැවැත්වීමට පුරුදු පුහුණු වූයේ ගව සම්පත සුරක්ෂිත කර ගැනීම ජාතික අවශ්‍යතාවයක් වූ බැවිනි. පුරාණ පශු වෛද්‍ය විද්‍යාව දියුණුවන්නට පෙර ගව පට්ටි හමුවේ පැමිණි රෝග දුරු කර ගැනීමට වෙනත් අනුබලයක් නොමැති වූ බැවින් කිරිමඩුව වැනි පුද පූජාවලට ගැමියන් නැඹුරු වූ බැව් සිතිය හැකිය.
කිරිමඩුව ශාන්තිකර්මය හෙවත් කිරිමඩු යාගයේ දී මංගර දෙවියන්ට අමතරව පත්තිනි දේවතාවිය ද ප්‍රධානත්වයෙහිලා පුද සත්කාර කරනු ලැබේ. මංගර උත්පත්තියට පත්තිනියගේ දායකත්වයක් එක එල්ලේ දක්නට නැතත් පත්තිනිය ද ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන ලද තැනැත්තියක බැව් පැවසේ. පත්තිනි පුරාවෘත්තයෙහි සඳහන් පිරිදි තම ස්වාමියා වූ කෝවලන් නිරපරාදයේ සොරකමකට ලක්කොට පඬි රජු විසින් මරණයට පත් කරන ලද හේතුවෙන් ඇය වම් පියයුර කඩා පොළවේ ගසා මධුරා පුරය ගිනි ලවමියි කන්නගිය සිතුවාය. ඇයගේ පැතුම වූයේ ධාර්මිකයින්, ගවයන්, ස්වාමිභක්තිය ඇති වනිතාවන්, ළදරුවන් හා මහල්ලන් හැර නපුරුකම් කිරීමට උදව් දෙන අන් සියලු දෙනාම එම ගින්නෙන් විනාශ විය යුතු බවයි. එමඟින් ප්‍රකාශ වන්නේ පත්තිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කාර්යයෙහි නිරත වී ඇති බවයි. ඒ අනුව, ගවයන් ආරක්ෂා කිරීම උදෙසා පවත්වනු ලබන කිරිමඩු යාගයට පත්තිනිය ද පුද ලැබීමට වරම් ලබා ඇති බව පෙනේ.
මීට අමතරව සමන්, විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ ආදී දේව සමූහයාත් ගොපලු කුරුම්බර සමඟ දොළොස් කුරුම්බරයන් සඳහාත් එහිදී පුද පෙත් දෙනු ලැබේ.
කිරි උතුරවා ගව පට්ටියට ඉසීමෙන් සෞභාග්‍ය ලඟාකර ගැනීම, වදුරු වසංගත රෝග පීඩාදියෙන් ගව සම්පත ආරක්ෂාකර ගැනීමත් එහි මූලික පරමාර්ථය වුව ද පොදුවේ ගමේ සුභසිද්ධිය පතා ගොවිතැන්, බත, බුලත සරුසාර කර ගැනීම ඇතුලු සශ්‍රීකත්ත්වය කිරි මඩුවෙන් අපේක්ෂා කරන ලද බැව් අදාළ පෙළපාලි වලින් පෙනී යයි. කුඹුරු කෙටීමේ පටන් අස්වැන්න කපා පාගාගෙන වී මැනීම දක්වාත් ඒ මඟින් පළමුවෙන් වෙන් කර ගන්නා සහල් වලින් මුරුතැන් බත් පිස දෙවියන්ට පිදීම නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමත් ඇසුරෙන් හෙලිදරව් කෙරෙන්නේ සශ්‍රීකත්ත්වය ද මෙම ශාන්තිකර්මය තුළින් අපේක්ෂාකර ඇති බවකි.
මංගර දෙවියන්ගේ උප්පත්ති කතා හා වික්‍රමයන් ගෙන හැර දැක්වෙන නාට්‍යමය පෙළපාලිවලින් ශාන්තිකර්මය රසවත් කෙරෙන අතර පැමිණ සිටින සියලුදෙනා වෙත කහ රොටි (කිරි රොටි) දානය පිළිගැන්වීමෙන් හෙළිදරව් කෙරෙන්නේ සාමුහිකත්ත්වය, සහයෝගය හා සමගිය ලොකු කුඩා උසස් පහත් බේදයකින් තොරව සියල්ලන්ගෙන් අපේක්ෂා කර ඇති බවය.
මංගර දේව උප්පත්තිය
මංගර දෙවියන්ගේ උත්පත්ති වාර දහ තුනක් පිළිබඳ මංගර කන්නලව්වේ සහ මංගර සැහැල්ලේ කියැවෙයි. ඉන් ආත්මභාවයන් කිහිපයකදීම ඔහු විසින් මතු බුදුබව ප්‍රාර්ථනා කළ බවද කියැවේ. ඉන් පළමු උත්පත්තිය ලෙස සැලකෙන්නේ අඳුන්ගිරි පර්වතයෙහි සිල් රකින පත්තිනි දේවියගේ සීල බලය විමසීමට පැමිණි ශක්‍රයාට දන් දීම පිණිස අඳුන්ගිරි පර්වතය පයෙන් මඩ කොට එහි සුවඳ ඇල් වී ඉස එයින් හටගත් අස්වැන්න නෙළා රන් භාජනයක දමා ගරන කල එහි තිබී හමු වූ වටිනා මුතු ඇටයකින් සිදු වූ උපතයි. එසේම මංගරගේ දහ තුන්වන ආත්මයේ දී මී ගවයෙකුගෙන් පහර කා මිය ගිය පසු නැවත ඔහුගේ පණ ලබා ගැනීම සඳහා කිරි ඉතිරවීමට අවශ්‍ය වූ කහ ලබා දීමද පත්තිනි දේවිය විසින් සිදු කළ බව කියැවේ. මේ අනුව මංගර දේව උත්පත්තිය සමඟ පත්තිනි දෙවියන්ගේ සමීප සම්බන්ධයක් ඇති බව පැහැදිලි වේ.
එසේම මංගර උත්පත්ති වාර දහතුනට අනුව, පළමු වර පත්තිනි දේවිය විසින් ගරන ලද සහල්වල තිබී හමු වූ මුතු කැටයක් මගින්ද, දෙවන වර කිතල්වර නම් රජෙකුගේ උර මඬළ පළාගෙනද, තුන්වන වර මහාකෙල නම් නා රජුගේ චින්තා මාණික්‍යයෙන් ද, සිව්වන වර ශක්‍රයාගේ රන්පොත ලියූ රුවන් පන්හිඳේ මුදුන් කොත් මාලාවෙන්ද, පස්වන වර ජලයෙන් ද, හයවන වර අනෝතත්ත විලේ මානෙල් මල් දහසකට මැද්දේ වූ මුදුන් මලේ රේණුවෙන් ද, සත්වන වර මායා රට මායා රජ්ජුරුවන්ට දාව අග බිසවගේ කුසින්ද, අටවන වර තරු රැසින් ද, නවවන වර දිය නළයෙන් ද, දහවෙනි වර සඳ රැසින් ද, එකොළොස්වන වර හිරු රැසින් ද, දොළොස්වැනි වර අකුණකින් ද, දහතුන්වන වර මායා රජුගේ අග බිසවගේ කුසින් “බුද සිරු” නමින්ද උපත ලද බව කියැවේ.
මංගර හා ඔහුගේ සොහොයුරු වූ මධුර මායා කුමරු එක්ව කිරි දෙනකගෙන් කිරි බිවු බවත් කල් යත්ම දෙනගේ කිරි අවසන් වූ බැවින් ඔවුන් විසින් ඇති කරගන්නා ලද කිරි වෛරයක් හේතුවෙන් මෙම අවසන් ආත්ම භවයේ දී නැව් නැග ලක්දිවට පැමිණ එහිදී මීමෙකුගෙන් පහර කා මිය යන බුදසිරු මංගර නමින් උපත ලද බවත් මංගර යාදින්නෙහි සඳහන් වේ.
කුඩා කල ම කැලෑ වැදී වන සතුන් සමඟ ඇති දැඩි වූ බව කියන බුද සිරු දඩයමට මෙන්ම වනසතුන් ඇල්ලීමටද බෝහෝ දස්කම් පෑ අයෙකි. බුද සිරුගේ දස්කම් ලොවපුරා පතළ වූ අතර කදිරාගොඩ නම් ප්‍රදේශයේ මිනිසුන්ට හානි පමුණුවන කුළු මීමෙකු පිළිබඳ ආරංචි වූ බුද සිරු සිය පිරිවරද සමඟින් නැව් නැගී වුත් උස්සන්ගොඩින් ලංකාවට ගොඩබට බව සඳහන් ය.
උස්සන්ගොඩ සිට කදිරාගොඩට පැමිණි පිරිස විඩා නිවා ගැනීම සඳහා නුග සෙවනක නතර වූ අතර එම පිරිසෙහි සිටි එඬේර කුමරෙකු මී ගවයා පිළිබඳ තොරතුරු සෙවීමට පිටත් කොට බුද සිරු ඇතුළු පිරිස එම නුග ගසෙහි වූ මීයක් කැඩීමට වෙහෙසුනේය. මීය කැඩීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බැවින් බුද සිරු විසින් නුග ගස කපා මීය පිරිස අතරේ බෙදා එඬේර කුමරුන්ට කොටසක් වෙන් කොට තැබීය.
පෙර කලෙක උපන් කිරි වෛරය නිසා පලි ගැනීමේ අදහසින් බුද සිරි ගේ පැමිණීම අපේක්ෂාවෙන් සොහොයුරා නුග ගසෙහි අරක් ගෙන සිටි අතර නුග ගස කපා හෙලීමත් සමඟ කෝපාවිෂ්ට වූ ඔහු මීමෙකුගේ වෙස් ගෙන අසල සිටි ගව රැළකට ඇන මරා දමන්නට විය. මේ දුටු බුද සිරු සිය මංගර මන්ද ගෙන මීමා ඇල්ලීමට උත්සාහ කළ ද මීමා බුද සිරුටත් පිරිවරටත් ඇන මරා දැම්මේය.
පෙර මගට ගිය එඬේර කුමරු ආපසු පැමිණ බලන විට බුද සිරු ඇතුළු පිරිවර මීමා විසින් මරා දමා ඇති අයුරු දැක සිය පිරිවර මරා දැමූ පළිය ගැනීමට මීමා සමඟ සටන් කොට මීමා මරා දැම්මේය.
ඉන් අනතුරුව මරන ලද මීමාගේ කකුල් හතර කණු ලෙසටත් ඉල ඇට යොදාගනිමින් කිරි මැස්සක් තනා දණහිස්වලින් ලිප්ගල් බැඳ, හරක් සම උඩු වියනට බැඳ, බඩවැල් වටතිරයට ගත් එඬේර කුමරු මීමාගේ හිස් කබල කිරි හැලියටත් ගෙන මීමාගේ මොළය මිරිකා ගත් දියරයෙන් කිරි ඉතිරවීය. එසේ උතුරුවන කිරි හැලිය සඳහා අවශ්‍ය කහ පත්තිනි දෙවියන් විසින් ලබා දුන් බව කියැවේ. උතුරුවන ලද කිරි පිරිසට ඉසීමෙන් බුද සිරු ඇතුළු පිරිස නැවත පණ ලැබූ අතර එතැන් පටන් බුද සිරු, මංගර නම් විය. මිය ගිය මීමාගේද ඇට කටු, සම් ආදී සියල්ල එක් කොට ඒවාටද කිරි ඉසීමෙන් මීමාද පණ ලැබූ අතර එතැන් පටන් මීමා මංගරගේ වාහනය බවට පත් විය. කිරි ඉතිරවීමේ ආරම්භය ද මෙය බවට සැළකෙන අතර සබරගමු සම්ප්‍රදායේ ශාන්තිකර්මයක් වන කිරිමඩුව සැකසී ඇත්තේද මෙම පුරාවෘත්තය පදනම් කොටගෙන බව සැලකේ.
එසේම ගව පාලනයේදී නිතර කතා කෙරෙන ගොපළු යකා යනු මංගර ඇතුළු පිරිසට පණ පිහිටවූ එඬේර කුමරා බවටද විශ්වාසයක් පවතී.