ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යා උරුමය පොදු මහ ජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් 2010 මාර්තු මස 04 දින විවෘත වූ අතර මෙම කෞතුකාගාරය ස්ථාපිත වී ඇත්තේ පෞරාණික ගාලූ කොටුවේ 1672 වර්ෂයේ දී නිම කරන ලද ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ භාණ්ඩ ගබඩා ගොඩනැගිල්ල තුළයි. ක්‍රි.ව 1505 දී ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ කලාපය යටත් විජිතවාදීන්ගේ ග්‍රහණයට නතුවීමෙන් පසුව ඉදිකරන ලද විශිෂ්ට ගණයේ බල කොටුවක් ලෙස පෞරාණික ගාලූ කොටුව හැදින්විය හැකිය. මෙහි ආගමික ස්ථාන, රෝහල් සංකීර්ණ, පාසල්, පාලකවරුන්ගේ නිල නිවාස, යුධ අවි ගබඩා, සිර කඳවුරු, අධිකරණ සංකීර්ණ ආදී බොහෝ ගොඩනැගිලි ලන්දේසී ගෘහ නිර්මාණ ලක‍ෂණ සහිතව ඉදි කරන ලද අතර, ක්‍රි.ව 1796 දී ලන්දේ්සී ග්‍රහණයේ තිබූ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය, ඉංගී්‍රසි පාලන කලාපයක් බවට පත් විය. යටත් විජිත පාලන අවධි තුනක අතීත නටබුන් දැකගත හැකි ගාලූ කොටුවෙහි වාස්තු විද්‍යාත්මක ලක‍ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ හැකිය.

කෞතුකාගාර ගොඩනැගිල්ල තුළ තොරතුරු මධ්‍යස්ථානයක්, ප්‍රදර්ශන මැදිරි හතරක්, ශ්‍රවණාගාරයක්, සංරක‍ෂණාගාරයක්, පොත් සහ අනු රූ අළෙවිසැළක් ස්ථාපිතය.

ප්‍රදර්ශන මැදිරි සැලැස්ම

පළමු ප්‍රදර්ශන මැදිරිය : මුහුදු පුරාවිද්‍යාව පිළිබඳ මූලික හැදින්වීම
දෙවන ප්‍රදර්ශන මැදිරිය : අතීතයේ සිට විවිධ කාලවකවාණු තුළ ලංකාව මුහුද හරහා විදේශියන් සමග සිදු වූ වෙළඳ සබඳතාවන්
තෙවන ප්‍රදර්ශන මැදිරිය : 17 සහ 19 වන සියවස්වල සිදු වූ ලාංකීය සංස්කෘතික සහ සමාජයීය වෙනස් වීම්
සිව්වන ප්‍රදර්ශන මැදිරිය : 1659 දී ගාලූ වරායේ මුහුදුබත් වූ ඇවොන්ඩ්ස්ටර් නෞකාව හා එහි පුරාවස්තු

නරඹන්නන්ට ලැබෙන පහසුකම්

  • වැසිකිලි/කැසිකිලි පහසුකම්
  • කෞතුකාගාරය තුළ මාර්ගෝපදේශනය සඳහා තොරතුරු නිලධාරීන්ගේ සහය
  • සිහිවටන හා ප්‍රකාශන මිලදී ගැනීම සඳහා ප්‍රකාශන අලෙවිසැල

කෞතුකාගාරය විවෘතව පවතින දින හා වේලාව

විවෘතව තබන වේලාව පෙ.ව 8.30 - ප.ව 4.30 (රජයේ විශේෂ නිවාඩු දිනයන්හි වසා ඇත)

ප්‍රවේශපත් ගාස්තු

විදේශීය වැඩිහිටි විදේශීය ළමා
රු.3850.00 රු.1925.00

ඡායාරූප ගැලරිය