වර්තමාන පරිපාලන බෙදීම් අනුව ඌව පළාතට අයත් මොණරාගල දිස්ත්‍රික්කය, අතීතයේ දී ද ඓතිහාසික රෝහණ රාජ්‍යයේ සුවිශේෂී ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වූ බව මූලාශ්‍රගත තොරතුරු අනුව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගය නියෝජනය කරන වැදගත් සාධක රැසක් මෙම උරුම කලාපය තුළ පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. නිදසුනක් ලෙස නිල්ගල ලෙනෙහි කළ කැණීම් මගින් මානව හිස්කබලක් හා සුනඛයෙකුගේ හෝ හිවලෙකුගේ යැයි අනුමාන කළ හැකි අවශේෂයක් සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් වැදගත් වන කතරගම, යුධගනාව, බුත්තල, මාලිගාවිල, ගලබැද්ද, රන්දෙණිවෙල ආදී ස්ථාන මෙම උරුම කලාපය තුළ පිහිටා ඇත. බුත්තල, දෙමටමල්විහාරය, යුධගනාව, ඇතිමලේ ආදී ස්ථාන දුටුගැමුණු හා සද්ධාතිස්ස සොහොයුරන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් වැදගත් වේ. සද්ධාතිස්ස කුමරු විසින් ඌවේ ප්‍රදේශයේ වෙල් ලක්ෂයක් පමණ අස්වැද්ද වීමට කටයුතු කළ බැවින් මේ ප්‍රදේශය අදටත් වෙල්ලස්ස නමින් ව්‍යවහාර කෙරේ. අනුරාධපුර යුගයේ දී ඇති වූ ආක්‍රමණ හේතුවෙන් සැඟවී සිටි වලගම්බා රජු හට සිය ආරක‍ෂාව සඳහාත්, සේනාංක සංවිධානය කර ගැනීම සඳහාත් මොණරාගල ඇතුළු රෝහණ රාජ්‍ය තුළින් ලැබුණ සහය විශේෂ වේ. මහනුවර රාජධානි සමයේ සිටි රජවරු කිහිපදෙනෙකුගේ සිදුවීම් සම්බන්ධයෙන් ද මොණරාගල දිස්ත්‍රික්කය ප්‍රසිද්ධියක් උසුලන අතර එම කාලයට අයත් විහාර මන්දිර, ටැම්පිට විහාර හා සිතුවම් ආදිය මෙම උරුම කලාපය තුළ ව්‍යාප්තව පවතී. බටහිර ආක්‍රමණයන් සිදු වූ අවධියේ දී එම ආක්‍රමණයන්ට විරුද්ධ ව කටයුතු කළ විශාල පිරිසක් ඌවේ සිටි බවට වංශකතා මගින් හා ගඩලාදෙණිය, නාථ දේවාල සෙල්ලිපි මගින් ද පිළිබිඹු වේ. දෙවන රාජසිංහ යටතේ වැල්ලවායේ, රන්දෙණිය වෙල්යායේ ඇති වූ සටනින් පෘතුගිසීන් දැවැන්ත පරාජයක් ලැබූ අතර එහි දී පෘතුගිසී නායක කොන්ස්තන්තීනූ ද සා මරණයට පත් විය. 1818 දී උඩරට කැරැල්ල සඳහා සුවිශේෂි දායකත්වයක් මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවලින් ලැබුණ අතර එහි දී සටනට සම්බන්ධ වූ වීර කැප්පෙටිපොළ, බූටෑවේ රටේ රාල, කොහුකුඹුරේ රටේ රාල ආදීන් මෙම ප්‍රදේශයේ සිටි විශේෂිත පුද්ගලයින් වශයෙන් හඳුනාගත හැකි ය.

2013 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම කලාපයේ උරුම කළමනාකරණ කටයුතු ආරම්භ කරන අතර එම කටයුතු බුදුරුවගල කේන්ද්‍රකර ගනිමින් සිදු කරනු ලබයි.