ශ්‍රී ලංකාවේ විශාල ස්තූප අතුරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා අභයගිරි ස්තූපය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජු (ක්‍රී.පූ 89 - 77) විසින් ඉදිකොට ඇත. හෙක්ටයාර් 200 කට ආසන්න පෙදෙසක ව්‍යාප්තව ඇත. පස්වන සියවසේ මෙරටට පැමිණි ෆාහියන් හිමි පවසන පරිදි, මහාවිහාරයේ භික්ෂූණ් තුන්දහසක් ද අභයගිරියේ භික්ෂූන් පන්දහසක් ද වැඩ සිට ඇත.

මහසෙන් රාජ්‍ය සමයේදි අභයගිරි සංවර්ධනයේ උච්චතම අවස්ථාවට පැමිණි අතර එය මහායාන බුදු දහමෙහි කේන්ද්‍ර ස්ථානය විය. අභයගිරිය තදාශ්‍රිතය දෙස බැලීමේදි දැකිය හැකි බෞද්ධාගමික ගොඩනැගිලි අනුව එවකට මෙම සංකීර්ණය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇති බව ද සිතිය හැක.

abhayagiriya-stupa-overview-hdr

අභයගිරිය ආශ්‍රිත ඵෙතිහාසික ස්ථාන

×

abhayagiriya-stupa-overview-hdrඅභයගිරි ස්තූපය

ක්‍රි.පූ. පළමුවන සියවසේ වළගම්බා රජතුමා විසින් ඉදි කරන ලද අභයගිරි දාගැබ උතර මහ චෙත, අභයගිරි දාගැබ, අපහයගර, බගිරිනක, බයාගිරිය ආදි විවිධ නම්වලින් ද හඳුන්වා දී ඇත. මුල්ම අභයගිරිය ස්තූපයේ පේසාවන් තුනක්, හතරැස් කොටුව, ගර්භය මුදුනේ යූපය හා ඡත්‍රය යන අංග තිබී ඇත. ස්තූපය සතර පැත්තේ ආයක සතරක් ද සලපතල මළුව, ඇත්පවුර, වැලි මළුව, ප්‍රාකාරය හා ගෝපුර ද වේ. දාගැබේ දකුණු දොරටුව දෙපස ඇති සංඛ හා පද්ම බහිරව රූප මූර්ති ශිල්පයේ විශිෂ්ටත්වයට කදිම නිදසුන්ය. මෙම බහිරව රූප ආශ්‍රිතව වර්තමානයේද විවිධ ආගමික හා අභිචාර ක්‍රියාකාරකම් සිදුවේ. මෙහි නැගෙනහිර ආයකය සිතුවම් කර තිබූ බවට සාධක හමුවේ. එසේම ස්තූප මළුවේ තිබි ශ්‍රී පාද ලාංඡනයක් ද සොයා ගැනීමට හැකි වී ඇත. මෙහි වර්තමාන උස අඩි 235 ක් වන අතර ස්තූප පාදමේ විෂ්කම්භය අඩි 310 කි.
 
×

Anuradhapura Abhayagiri 6කුට්ටම් පොකුණ

ශ්‍රී ලාංකීය පොකුණු නිර්මාණ කලාව හා තාක්ෂණය පිළිබඳ කදිම නිදසුනක් වශයෙන් කුට්ටම් පොකුණ දැක්විය හැකිය. මෙම පොකුණ අභයගිරි විහාරවාසී භික්ෂූණ්ගේ ජල පහසුව පිණිස ඉදිකලා යැයි විශ්වාස කෙරේ. මෙම පොකුණ අටවන හෝ නම වන ශත වර්ෂයේදි ඉදිවූවා යැයි විශ්වාස කෙරේ. පොකුණු දෙකෙහිම දියට බැසීම සඳහා ශෛල්‍යමය පියගැට පෙළවල් නිර්මාණය කොට ඇත. පොකුණු වලට ජලය ලබා ගැනීමේදි පළමුව පොකූණු වටා පිහිටි අංගනයට ජලය රැගෙනවිත් කුඩා පොකුණේ ඇති මකර මුඛය ඔස්සේ ජලය ලබාගෙන පසුව එහි සිට විශාල පොකුණ දක්වා භූගතව සවි කොට ඇති නලයක් මගින් ජලය සම්පාදනය කොට ඇත. පොකුණු දෙකෙහිම වූ ජලය නැවත පිට කොට ඇත්තේ ද කුඩා පොකුණෙහි පතුලෙහි වූ ස්ථානයකිනි. කුට්ටම් පොකුණෙ නෙලා ඇති පෙන පහක් සහිත නාග රුව ඉතා විශිෂ්ට නිර්මාණයකි.

×

Samadhi Buddha-Anuradhapuraසමාධි බුද්ධ ප්‍රතිමාව

අනුරාධපුර යුගයේ කලා ශිල්පියාගේ නිසැක හැකියාව මනාව ඔප්පුවන ප්‍රතිමාවක් වශයෙන් සමාධි බුදු පිළිමය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. බුදුන්වහන්සේගේ සමාධි ගුණය මූර්තිමත් කොට ඇති මෙම පිළිමය සිවුවන සියවසට පමණ අයත් වෙතැයි සැළකේ. වීරාසනයෙන් හිද සිටින ධ්‍යාන මුද්‍රාව පිළිබිඹු කෙරෙන අන්දමින් හුණු ගලින් මෙම ප්‍රතිමාව නෙලා ඇත. මෙහි සිරුර හා චීවරය වර්ණ ගන්වා තිබු බවට සාධක ඇත. ඒකාංශ පාරුපණයෙන් යුත් මෙහි සිරුර ඇගට ඇළී තිඛෙන බවක් පෙන්නුම් කරයි. භාව ප්‍රකාශනය අතින් ඉතාමත් විශිෂ්ටය. බුදුරජාණන්වහන්සේ සමාධියෙන් පසුවන බව මුහුණෙන් පමනක් නොව ශරීරයෙන් ද ප්‍රකාශ වන්නාවු විශිෂ්ට නිර්මාණයකි. 1960 දි පමණ මෙම ස්ථානයේ සිදු කල කැණීම් මගින් මෙහි බෝධිඝරයක් තිබූ බවට සාධක හමු වී ඇත. එය අභයගිරි විහාරයේ බෝධිඝරය ලෙස හදුන්වයි.

×

rathnaprasadaරත්නප්‍රාසාද උපෝසථාඝරය

භික්ෂූණ්වහන්සේලාගේ විනය කර්ම සඳහා මෙම ගොඩනැගිල්ල භාවිත වී ඇත. කණිට්ඨතිස්ස රජු (ක්‍රි.ව 164-192) විසින් මෙය ඉදිකල බව සඳහන්ය. දෙවන මිහිදු රජු (ක්‍රි.ව 772-797) විසින් මෙය මහාපරිමාණයෙන් මහල් කිහිපයකින් යුක්තව ඉදිකොට එහි රන් පිළිමයක් ද තැන්පත්කොට ඇත. ක්‍රි.ව 10 සියවසේදි පස්වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව 914 - 923) අභයගිරි ශිලා ලිපියෙහි රත්නප්‍රාසාදය දිව්‍ය භවනක් සේ දිස්වූ බව කියවේ. පළමු වැනි සේන රජුගේ කාලයේදි (ක්‍රි.ව 833 - 853) දකුණු ඉන්දීයානු පාණ්ඩ්‍ය ආක්‍රමනිකයන් මෙම ගොඩනැගිල්ල කොල්ල කා රන් බුදු පිළිමය පැහැරගෙන ගොස් ඇත. පසුව නැවත එය දකුණු ඉන්දියාවෙන් ලබාගෙන මෙහි තැන්පත්කොට ඇත. ශෛල්‍යමය වේදිකාවක් මත ඇති වත්මන් ගොඩනැගිල්ලේ විශාල එමෙන්ම උස් වූ ශිලා ස්ථම්භයන් දැකිය හැකිය. මෙහි ප්‍රධාන ප්‍රවේශ දොරටුව දෙපස ඇති මුරගල් ඉතා සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ මුරගල් අතර කලාත්මක නිමාව අතින් උසස්ම මුරගල මෙය යැයි සැළකේ. එසේම මුරගලට සම්බන්ධවන කොරවක් ගල ද කලාත්මක අතින් ඉතා සුවිසේශි යැයි සළකනු ලැබේ.

×

Moonstonesසඳකඩ පහන අංක 1 හා 2

ශ්‍රී ලංකාවේ හමු වී ඇති ඉතා කලාත්මක සඳකඩපහන් දෙකම හමුවන්නේ අභයගිරිය ආශ්‍රිතවය. අංක 1 නමින් හඳුන්වන සඳකඩ පහන ශ්‍රී ලංකාවේ සඳකඩ පහන් අතුරින් ඉතා කලාත්මක හා විශිෂ්ඨතම නිර්මාණය සේ සැළකේ. මෙහි කැටයම්කර ඇති සත්ත්ව රූපවල තාත්වික බවත් ලියවැල් වැනි කැටයම්වල සියුම් බවත් නිසා මෙය විශිෂ්ට ගල් කැටයම් නිර්මාණයක් ලෙස කලා ඉතිහාසඥයින් විශ්වාස කරයි. මෙම අංක 01 සඳකඩ පහණ දැකිය හැකිවන්නේ අභයගිරි සංකීර්ණයේ මහසෙන් මාළිගය ලෙස වර්තමානයේ හඳුන්වන පංචාවාසයක් ආශ්‍රිතවය. සඳකඩපහනේ ඇති කැටයම් පිළිබඳ විද්වතුන් විවිධ අදහස් දරනු ලැබේ. මහාචාර්ය පරණවිතාන විසින් සඳකඩපහනේ ඇති කැටයම් අර්ථ නිරූපනය සඳහා බෞද්ධ සංකල්ප හා සම්බන්ධ කරනු දැකිය හැකිය. ඒ අනුව සඳකඩපහන මගින් සංසාරයත් ඉන් මිදීම නිවන බවත් ඔහු විස්තර කරනු ලබයි. සඳකඩ පහණ අංක 2 ද ඉහත සඳහන් කල සඳකඩ පහණේ ආකෘතියටම නිර්මාණය වූවකි. එය රත්න ප්‍රාසාදයට නුදුරින් කුඩා කදුගැටය මත පිහිටි බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසල වේ.

×

Eth-Pokunaඇත් පොකුණ

අභයගිරි භික්ෂූණ්ගේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට යොදාගත් පොකුණකි. මෙය අභයගිරි සංකීර්ණයේ දැකිය හැකි විශාලතම පොකුණ වේ. දළ වශයෙන් දිගින් මිටර් 150 ක් ද පළලින් මීටර් 50 ක් ද ගැඹුරින් මීටර් 10 ක් ද පමණ වේ. ක්‍රි.ව 3 වන සියවසේදි පමණ ඉදිකරන්නට ඇතැයි සැළකේ. මෙය පැරණි පොත්වල මාස්පොත පොකුණ ලෙස ද හඳුන්වා ඇත. සිව් දෙසින්ම ගල් අතුරා මනාව නිමකොට ඇත. පොකුණට බැසීම සඳහා සතර දිශාවෙන්ම පියගැටපෙළවල් සකස්කොට ඇත. පොකුණට ජලය ලබා ගැනීමට උමං මාර්ග තුනක් භාවිත කොට ඇත. උතුරු දෙසින් වූ ජලමාර්ග දෙකෙන් එකක් වර්තමානයේදීත් වැසි සමයේදි ක්‍රියාත්මක වේ. පොකුණට උතුරින් වූ පෙරිමියන්කුලම වැව හා බුලන්කුලම වැව මගින් එලෙස ජලය ලැබේ. මෙහි නිරිතදිග කොටසේ බිසෝකොටුවක් ද වේ.

×

Asokaramaඅශෝකාරාමය

අශෝකාරාමය පන්කුලිය නම් ග්‍රාමයේ පිහිටා ඇති බැවින් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය පන්කුලිය නමින් ද ප්‍රසිද්ධය. මෙහි දැකිය හැකි නටඹුන් අතර ප්‍රතිමා ගෘහයක්, ස්නානාගාරයක්, ස්තූපයක්, දිගු ශාලාවක් වැනි ගොඩනැගිල්ලක්, විශේෂිත මුරගලක් හා විශිෂ්ට ගණයේ බුදු පිළිමයක් ද වේ. මෙහි ඇති පිළිමගෙයි පඩිපෙළේ ක්‍රි.ව 8 වන සියවසට අයත් ශිලා ලිපියක් වේ. ක්‍රි.ව 9-10 සියවස්වලට අයත් යැයි සැළකෙන මෙම හිදි බුදු පිළිමය හුණුගල් වලින් නිමවා ඇත.

×

vijayaramaවිජයාරාමය

අනුරාධපුර අභයගිරි ආරාම සංකීර්ණයට අයත් බෞද්ධ ආරාමයක් ලෙස විජයාරාමය හඳුන්වාදිය හැකිය. අභයගිරි ස්ථූපයට කිලෝමීටර් 3 ක් පමණ උතුරු දිශාවෙන්, මෙම ආරාමික භූමිය පිහිටා ඇත. පබ්බත විහාරයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ආරාමික භූමියෙහි නටඹුන් වී ගිය ස්ථූපයක් හා ගොඩනැගිලි 25 කට ආසන්න ප්‍රමාණයක සාධක දක්නට හැකිය. ඓතිහාසික තොරතුරුවලට අනුව අභයගිරි විහාර සංකීර්ණයේම කොටසක් ලෙස මෙම ආරාමික භූමිය භාවිත වී ඇත. මෙහි ඇති ස්තූපය කැණිම් කිරීමේදි ප්‍රඥා පාරමිතා සූත්‍රයේ කොටස් ලියන ලද තඹ තහඩු රාශියක් හමු වී ඇත. ඒ අනුව එම ස්තූපය ධර්මධාතුව තැන්පත්කොට තැනූ බව පිළිගැනේ. විශේෂයෙන් මහායාන ආගමික ස්ථානයක් ලෙස මෙය භාවිත වී ඇති බව ද පැහැදිලි වේ. මෙහි ඇති කැටයම්වල අවලෝකිතේශ්වර බෝධිසත්වයින් හා තාරා දෙවඟන සහිත විමාන කැටයම් කොට තිඛෙනු දැකිය හැකිය. මෙය අනුරාධපුර යුගයේ දි වනගත පෙදෙසක පිහිටි රමණිය ආරාමික ප්‍රදේශයක් ලෙස දැක්විය හැකිය.

×


කිරිබත්වෙහෙර

විජයාරාමයට මීටර් 400 ක් පමණ ඊසාන දෙසට වන්නට පිහිටි මෙම දාගැබේ ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ මත පවති. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ 250 - 210) විසින් ඉදිකලා යැයි සැළකෙන පඨමක චේතිය මෙය බව ඇතැමුන්ගේ මතයයි. මෙහි ඇති ශිලා ලිපියක මෙය උත්තර මේඝගිරි විහාරය ලෙස හඳුන්වා ඇත. මෙහි ඇති ප්‍රතිමා ගෘහය ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රතිමා ගෘහයන්ගෙන් එකක් ලෙස සැළකේ. එම නටඹුන්ව ගිය ප්‍රතිමාගෘහය ජේතවනයේ ප්‍රතිමාගෘහයට ඛෙහෙවින් සමානකමක් දක්වනු ලැබේ. එහි තිබූ බුදු පිළිමය ඛෙහෙවින් විනාශ වී ගොස් ඇති අතර එම කවන්ධ හිටි බුදු පිළිමය අඩි 9 ක් පමණ උසැතිය. ඊට අමතරව එහි ස්තූපයක නටඹුන් ද වේ. මෙහි 10 වන සියවසට අයත් අත්තානි කනුවක් ද වේ. එහි ඉහත සඳහන් කල මේගිරි නම් නාමය යෙදි ඇත.

×

Vessagiriවෙස්සගිරිය

ඉස්සර සමනාරාමය ලෙසින් හැඳින් වූ වෙස්සගිරිය ලෙන් ආරාමයකි. එය ක්‍රි.පූ 3 වන සියවසේදි දේවානම්පියතිස්ස රජු විසින් භික්ෂූණ් සඳහා ඉදිකල බව සැළකේ. කටාරම් කොටා මනා ලෙස සකස් කරනු ලෙන් 23 ක් පමණ මෙහි දැකිය හැකිය. මෙම කටාරම් සහිත ලෙන් ආශ්‍රිතව බ්‍රාහ්මි අක්ෂරයන්ගෙන් කල ලිපි ද දැකිය හැකි වේ. විශේෂයෙන් මෙම පරිශ්‍රය තුළ අනුරාධපුර යුගයට අයත් චිත්‍ර දක්නට හැකිය.